“සියලුදේට ප්‍රථමව දරුවන්”
කොවිඩ් වසංගත සහ පශ්චාත් කොවිඩ් වසංගත සමාජයක දරුවන්ගේ යහපැවැත්ම සහ සුභසිද්ධිය ලඟා කරගැනීම සම්බන්ධව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි විජේරත්න සමඟ සාකච්ඡාව
ශ්‍රී ලංකාවේ ළමයින්ගෙන් 30%-40% කට පමණක් අධ්‍යාපනය සඳහා අන්තර්ජාල ප්‍රවේශය ඇති බවට අධ්‍යනයකින් අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ වැදගත්කම සහ සියලූ දරුවන්ට එක හා සමානව නොමිලේ අධ්‍යාපනය ලබා දීම සම්බන්ධයෙන් අපගේ දීර්ඝ කාලීන ඉතිහාසය සලකා බලන විට මෙම තත්ත්වය නිවැරදි කිරීමට අපට කුමක් කළ හැකිද?
ඇත්තටම අඩු පහසුකම් තිබෙනා රටක් විදියට මෙම කොවිඩ් වසංගතයත් සමඟ අපට නොයෙකුත් බාධා වලට මුහුණ දීමට සිදු වුනා. අධ්‍යාපන ක්ෂේත්රයට සිදුවූ බාධාවන් මේ අතරින් විශේෂිතයි. මාර්ගගත අධ්‍යාපනය ඇත්තටම ගුරුවරුන්, කිසිම බල කිරීමකින් තොරව, ස්වේච්ඡාවෙන්, ස්වකැමැත්තෙන්, පෙර අත්දැකීම්, පුහුණුකිරීම්, කිසිත් නොමැතිව, පටන් ගත් දෙයකි. සමහර ගුරුවරුන් ස්මාර්ට් ජංගම දුරකථන මෙම අධ්‍යාපන වැඩ කටයුතු සඳහාම මිලදී ගත් අවස්ථා බොහොමයක් මම දන්නවා. නමුත්, බොහෝ ප්‍රදේශ සංඥා හා ආවරණ කළාප නොමැති වීම හේතුවෙන් මෙම මාර්ගගත අධ්‍යාපනය සඳහා සහභාගී වීමට බොහෝ දෙනෙකුට අවස්ථාව නොමැති වී තිබෙනවා.
ඉතින් මෙම සමීක්ෂණයෙන් අනාවරණය වූ පරිදි අප රටේ මාර්ගගත අධ්‍යාපනය 100% ඵලදායී ලෙස ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. ඉතින් ගුරු වැඩ වර්ජනය නිසා ළමයින්ගේ මාර්ගගත අධ්‍යාපනය අඩාල වූවායැයි කියනා විට, ඇත්තටම ඒ කතා කරන්නේ 30%-40% ක ළමයින් සම්බන්දව පමණයි. ඒ සඳහා මුලසිටම සම්බන්ධවීමට නොහැකි වූ දරුවන් ගැන බොහෝදෙනා අමතක කර තිබෙනවා.
රජය විසින් ඇත්තට අපේ රටේ ළමයින් සහ ළමයින්ගේ අධ්‍යාපනය කෙරෙහි මීට වඩා අවධානය යොමු කර යුතුව තිබෙනවා. අපි දකිනවා නෙදර්ලන්ත රජය මෙම වසරේ අයවැයෙන් වැඩි මුදල් ප්‍රමාණයක් යොමු කර තිබෙන්නේ අධ්‍යාපනය සහ අධ්‍යාපනය සම්බන්ධව ඇති ක්ෂේත්‍ර සවි බල ගැන්වීම සඳහාය.
60%-70% පමණ දරුවන් ප්‍රමාණයකට අවුරුදු දෙකක කාලයක් අධ්‍යාපනය නොලැබී තිබෙන තත්ත්වයක් ඇති බව අපට මේ වාර්තා වලින් පෙනී යනවා. ඉතින් මේ 60%ක දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නට තිබෙනා වැඩපිළිවෙල ගැන තමයි අපි අවධානය යොමු කර යුතුව තිබෙන්නේ. ඇත්තටම මේ සම්බන්දයෙන් මගේ අදහසක් තමයි සෑම දෙනාටම එක්විය හැකි රූපවාහිනී නාලිකා, යූ ටියුබ් නාලිකා මගින් අධ්‍යාපන වැඩසටහන් ප්‍රචාරය කිරීම. නිවසට ස්මාර්ට් ජංගම දුරකථන එකක් පමණක් තිබෙනා විට විවිධ ශ්‍රේණි වල අධ්‍යාපනය හදාරන ළමයින් දෙතුන් දෙනෙකුට එක විට පාඩම් කටයුතු වලට සහභාගී වීමට හැකියාවක් නැහැ. ඉතින් එවැනි දරුවන්ට තමන්ට වේලාවක් ලැබුණු විට යූ ටියුබ් නාලිකාවේ අධ්‍යාපන වැඩසටහන් බාගත කරගෙන නැරඹීමට හැකියාව තිබෙනවා.
මගේ තවත් අදහසක් වන්නේ මොඩියුල පද්ධතියක් අනුව ක්‍රියාත්මක වීමට අධ්‍යාපනය ක්‍රමවේදය වෙනස් කිරීමයි. මේ අනුව මොඩියුලයක් අවසාන වූ විට ළමයින් එම ක්‍රියාකාරකම් අවසාන කර එය නිවස අසල ඇති පාසලට ලබා දී එම ගුරුවරු මාර්ගයෙන් ඒවා නිවැරදි කිරීම් කර ගැනීමෙන්, විශේෂ අවධානය අවශ්‍ය වන ළමුන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. ඇත්තට ග්‍රාම නිලධාරී වසම් තුල රජයේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඉතින් මෙම නිලධාරීන්ගේ සහයෝගයද ඇතිව පාසල සහ දරුවන් අතර තොරතුරු හුවමාරුව වැඩි දියුණු කිරීමට හැකියාවක් පවතිනවා.
ඔබතුමියගේ අදහස අනුව කොවිඩ්-19 වසංගත තත්ත්වය ළමා සෞඛ්‍ය කෙරෙහි බලපා ඇත්තේ කෙසේද?
ළමා සෞඛ්‍ය ගැන කතා කරනා විට දෙවර්ගයක් ගැන අපි අවධානය යොමු කර යුතුය, මානසික සහ ශාරීරික සෞඛ්‍ය යන දෙවර්ගයම. මෙම දෙවර්ගයම ලොකු පිරිහීමකට ලක්ව ඇති බව අපට පෙනී යනවා. උදාහරණයක් වශයෙන් ශාරීරික සෞඛ්‍ය ගත් කල, පාසල තුල වෙනත් ළමුන් සමඟ දිනපතා ක්‍රීඩා කිරීමෙන් ශරීරයට අත්‍යාවශ්‍ය ව්‍යායාම දරුවන්ට ලැබෙනවා. ඒවගේම තමයි දුෂ්කර ප්‍රදේශ වල ඇති පාසැල් මගින් ප්‍රාථමික ශ්‍රේණියේ ළමයින් හට දිවා ආහාර වේල ලබා දුන්නා. ඒ, ළමයින්ට අවශ්‍ය පෝෂණය ලබාදීමේ අරමුණින්. ඉතින් පහුගිය කාල සීමාවේ මෙම අවස්ථා සියල්ලම දරුවන්ට නොලැබී ගියා. ආර්ථිකය පිරිහී යාමත් සමඟ පෝෂණය පිළිබඳව තවත් ගැටළු පැන නැගෙනවා. වෙනදාට රු.1000 ලබා ගත් බඩු මල්ල ගැනීම සඳහා අද වන විට රු.2000-3000 අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.
මානසික සෞඛ්‍යයද පිරීහීමකට ලක් වී ඇත්තේ, තීරයකට කොටු වීම තුලින් ළමුන්ගේ සමාජානුකරණ ක්‍රියාවලිය දැඩි බලපෑමකට ලක් වී ඇති හෙයිනි. නිවස තුලම කොටු වී සිටීම මගින් විෂාදය වැනි රෝගයන් ද ළමයින් තුල ඇති වී තිබෙනවා. ඒ වගේම තමයි, සයිබර් අවකාශය මගින් සිදුවන ළමා අපයෝජන ප්‍රමාණයද වැඩි වී තිබෙන තත්ත්වයක් අපිට දකින්නට ලැබෙනවා. ළමා ආරක්ෂණ අධිකාරිය විසින් වාර්තා කළ පරිදි මුල් කාර්තුවේ පමණක් ළමා අපයෝජනය සම්බන්ධව විමසීම් 55,000ක් පමණ ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ඉතින්, මේ සම්බන්ධව අපි අවධානය යොමු කර සුදුසු ක්‍රියා මාර්ග ගත යුතුව තිබෙනවා.
පශ්චාත් කොවිඩ් සමය ගැන සිතා මේ සබන්ධව අපි සැලසුම් සකස් කර යුතුව තිබෙනවා. මෙවැනි ශාරීරික සහ මානසික සෞඛ්‍ය ගැටළු ඇති ළමුන් නැවත පාසල් වලට පැමිණිය පසු ඔවුන්ගේ එම ගැටළු නිරාකරණය කරගැනීමට අපි ගන්නා ක්‍රියා මාර්ග මොනවාද යන්න අපි සිතා බැලිය යුතුය.
වසංගතයෙන් පසු පශ්චාත් වසංගත සමාජයක වුවද වසංගතය හේතුවෙන් දරුවන්ට පීඩා විඳිය හැකි මානසික සෞඛ්‍ය ගැටලූ පිළිබඳව ගුරුවරුන් සහ දෙමාපියන් වඩාත් දැනුවත් වීමක් සහ ඒ සම්බන්ධයෙන් වැඩි අවබෝධයක් ලබා ගත යුතුද?
අනිවාර්යයෙන්ම. පාසැල් විවෘත කරනවා යනු හුදෙක් ගේට්ටු විවෘත කිරීම නොවේ. මම පාර්ලිමේන්තුවේදීද මේ සම්බන්ධව කතා කරලා තිබෙනවා. අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් ඇති ළමා මනෝ උපදේශකවරුන් හැම පාසලකටම අනුයුක්ත කර යුතුයි. ළමුන් පාසලට පැමිණෙන්නේ අවුරුදු 2කට විතර කාලයකට අනතුරුවයි. මෙම කාලය තුල විවිධ කළහකාරී අත්දැකීම් වලට පීඩනයන්ට ගොඩක් දරුවන්ට මුහුණ දීමට සිදු වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් මෙම කාල සීමාව තුල ගෘහස්ත හිංසනය වාර්ථාගත ලෙස වැඩිවීමකට ලක් වෙලා තිබෙනවා.
ඒවගේම තමයි, සමහරක් ළමයින් අන්තර්ජාලය හරහා නොයෙකුත් ඇබ්බැහීම් වලට ලක් වී තිබෙනවා. ඉතින් එවැනි අත්දැකීම් වලින් වෙනස් වූ දරුවෙක් තමයි පාසලට නැවත අධ්‍යාපනය සඳහා පැමිණෙන්නේ. මෙවැනි දරුවන්ට අධ්‍යාපනය ගැන නැවත ඇල්මක් සහ උනන්දුවක් ඇති කිරීමට ගුරුවරයාට හැකියාව පවතිනවාද? ඒ සඳහා අවශ්‍ය වන පසුබිම අපි සකස් කර දී තිබෙනවාද? යන්න ගැන අපි සිතා බැලිය යුතුය. මනෝ උපදේශනය යන බැරෑරුම් කාර්යභාරය සම්බන්ධව ගුරුවරයෙකුට ඇති දැනුම, අත්දැකීම සහ පුහුණුව අඩුයි. ඒ අනුව, ගුරුවන්ගෙන් පමණක් මේ කාර්යභාරය ඉටු වේවී යැයි බලාපොරොත්තු වීමට අපිට නොහැකියි.
වසංගත තත්ත්වය අතරතුර ගෘහස්ත හිංසා කිරීමේ සිද්ධීන් සීඝ්රයෙන් වාර්තා වීමත් සමඟම, එම පවුල් වල දරුවන්ට එය කෙබඳු බලපෑමක් එමගින් ඇති වී තිබේද? එවැනි අන්දමට පීඩාවන්ට පත් වූ දරුවන් ආරක්ෂා කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?
ඇත්තටම ගෘහස්ත හිංසනය සම්බන්ධයෙන් වැඩි අවධානය යොමුවන්නේ කාන්තාවන්ටයි. පිරිමි පුද්ගලයන්ද ගෘහස්ත හිංසනයට, ශාරීරික හෝ මානසික හිංසනයට, ලක්වෙන අවස්ථාවද තිබෙනවා. නමුත් මෙවැනි පවුල්වල ළමයින් සම්බන්ධයෙන්ද අවධානය යොමු කර යුතුමය. මෙවැනි සිද්ධීන් දැකීම තුලින් ළමයින්ගේ මානසික මට්ටම දැඩි ලෙස පිරිහීමකට ලක් වෙනවා.
අප රටේ මානසික සෞඛ්‍ය සහ උපදේශනය ගැන සමාජයේ තිබෙන දැක්මද වෙනස් කර යුතුව තිබෙනවා. සමාජයේ පවතින මතවාදයක් වන්නේ “පිස්සු” හැදුනු රෝගීන් උපදේශනයට යොමු වනවා යන්නයි. මෙවැනි මතවාද අපි වෙනස් කර යුතුය.
අපේ ශරීරයේ තිබෙනා අනෙකුත් ඉන්ද්‍රීන් රෝගී වනවා සේම මොළයද රෝගී විය හැක. මොළය තුල ඇති රසායනික ක්‍රමවේදයන් ද කාලයත්, මුහුණ දීමට සිදු වන අත්දැකීම් සමඟ නොයෙකුත් වෙනස්වීම් වලට ලක්වනවා ඇත. මානසික සෞඛ්‍ය පිරිහීම ඉතාමත් සාමන්‍ය කරුණක් වන අතර, එසේ වූ විට, උපදේශනය සඳහා යොමු වීමද ඉතාමත් සාමන්‍ය කරුණක් වේ. මෙම කරුණු සම්බන්ධව පුළුල් ප්‍රචාරයක් යොමු කර යුතුයි. එමගින් ගෘහස්ත හිංසනය සහ ඒ නිසා පීඩාවට පත්වන පවුල් වල සාමාජිකයන්ගේ ජීවිත සතුටු දායී ලෙස වෙනස් කිරීමට අපිට පුළුවන් වේවි. ඇතැම් අවස්ථා වල ගෘහස්ත හිංසනයෙහි නියැලෙන පුද්ගලයාටද යම් මානසික ප්‍රශ්නයක් ඇති හෙයින් දැනෙනා අසරණතාවය නිසා ප්‍රචණ්ඩකාරී වීමට යොමුවනවා වන්නට පුළුවනි.
ඉතින්, මානසික සෞඛ්යහි වැදගත්කම සහ ඒවාට ඇති ප්‍රතිකාර සහ ප්‍රතිකාර ලබාදෙන ආයතන සම්බන්ධව පාසල් ළමුන්ගේ ඇති දැනුවත්භාවය අපි වැඩිකර යුතුව තිබෙනවා.
එමගින්, තමන්ට මුහුණ පෑමට සිදුවන ප්‍රශ්න හමුවේ පීඩාවට පත්වී, අසරණවී ජීවිතය වරද්දා ගන්නේ නැතිව එම ප්‍රශ්න ගැන සුදුසු කම් ඇති පුද්ගලයන් සමඟ කතා කර, ඒවාට විසදුම් සොයා, ජීවිතය ජය ගැනීමේ අවස්ථාව අපිට එවැනි පවුල්වල ළමයින්ට ලබා දීමට හැකි වනවා ඇත.